හෝමාගම පිටකොටුව (138) පෞද්ගලික බස් රථ හිමියන් සහ සේවක පිරිස එක්ව බස් 10කින් බැතිමතුන් 600 දෙනකු නොමිලයේ අනුරාධපුර පූජා භූමියට රැගෙන ගොස් එහිදී ප්‍රථම වරට සංවිධානය කළ සීල සමාදාන පින්කම් මාලාවක් රුවන්මැලි සෑරදුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී නවම් පුර පසළොස්වක පෝයදා දවස පුරා සංවිධානය කර තිබිණි.
මේ වන්දනා චාරිකාවට සහභාගි වූ සියලු බැතිමතුන් 22 දා මධ්‍යම රාත්‍රියේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ, එහිදී හෝමාගම මහකටුවාන ශාසනවර්ධනාරාම විහාරාධිපති මීගහපැලැස්සේ විජිතධම්ම හිමි මෙහෙයවූ ආගමික වතාවත්වලින් අනතුරුව සුභ මොහොතින් වන්දනා ගමන ආරම්භ කෙරිණි.
මේ වන්දනා චාරිකාවට සහභාගි වූ බැතිමතුන් 600 දෙනාම සිල් සමාදන් වූ අතර අලුයම කිරිපිඬු පූජාව, භාවනා වඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා අටවිසි බෝධි පූජා පින්කම් ඇතුළු පින්කම් රැසක් සඳහා ඔවුහු සහභාගි වූහ. මේ සියලු බැතිමතුන්ට උදෑසන, දහවල් දානය, ගිලන්පස හා රාත්‍රී ආහාරය සම්පාදන කර තිබූ අතර, බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැලසීමට සැලසුමක් ක්‍රියාත්මක කර තිබිණි.
මෙහිදී උදේ දවල් රාත්‍රී ආහාර බස් රථ හිමිකරුවන් සහ සේවකයන් අතින්ම සකසා සීල සමාදානයේ යෙදුණු බැතිමතුන්ට පූජා කෙරිණි. මේ වන්දනා චාරිකාවට විශේෂ අවශ්‍යතා සහිත අය, වයෝවෘද්ධ බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ සියලු දෙනා වෙත මේ සියලු පහසුකම් සැලසෙන්නේ නොමිලයේ වීම විශේෂත්වයකි.