මෙරට පාසල් සිසුන් ඉලක්ක කර නීතිවිරෝධි අන්දමින් ගෙන්වන ලද ඉලෙක්ට්‍රොනික සිගරැට් තොගයක් පෑලියගොඩදී පෙරේදා (22) අත්අඩංගුවට ගැනීමට ජාඇළ සුරාබදු ඒකකය සමත් වී ඇත.
ඔන්ලයින් ක්‍රමයට නීතිවිරෝධි ලෙස ගෙන්වා ඇති රුපියල් ලක්ෂ 30ක් වටිනා මේ ඉලෙක්ට්‍රොනික සිගරැට් තොගයෙන් රුපියල් කෝටි 10ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව ජාඇළ සුරාබදු ඒකකය පවසයි. මේ ජාවාරම සිදු කළ පාණදුරේ පදිංචි 25 හැවිරිදි තරුණයකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ ඉලෙක්ට්‍රොනික සිගරැට් සාමාන්‍ය දුම්වැටිවලට වඩා දරුණු ඇබ්බැහිකාරකයක් බවත්, එබන්දක් භාවිත කළ බව පවා සොයාගත නොහැකි බවත් කී සුරාබදු ඒකකය ඒකකයේ නිලධාරීහු ඉන් ඇපල්, දොඩම්, ස්ට්‍රෝබෙරි ආදි විවිධ සුවඳ නිකුත් වන බවද පැවසූහ. තම දරුවාගෙන් අමුතු සුවඳක් එන්නේ නම් වහා සොයා බලන ලෙස කියා සිටින ඒ නිලධාරීහු මේ ඊ-සිගරැට් විවිධ ආකාරයට නිෂ්පාදනය කර තිබෙන බවත් ඇතැම් විට අතේ බඳින ස්මාර්ට් වොච් එකක් ආකාරයෙන්, කරේ දාන පටියක් ආකාරයෙන් ඇති බවත් කියා සිටිති.