කෑගල්ලටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක්

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහතික විය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන වල සේවාවන් ගමට රැගෙන යාමේ අරමුණින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අතරතුරදී අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් විය.

සබරගමු පළාතේ වැඩිම ජනතාවක් විදේශ රැකියාවල නිරතවී සිටින දිස්ත්‍රික්කය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නොමැති වීම දැඩි අඩුපාඩුවක් බව සඳහන් කරමින් කෑගල්ල දිස්ත්‍රික් විගමිනක කමිටුව විසින් මෙලෙස අමාත්‍යවරයා වෙත සිය ඉල්ලීම ඇතුලත් ලිපියක් භාරදෙනු ලැබීය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී දරුවන්ගේ ඉල්ලීමකට අවධානය යොමුකරමින් මෙම වසරේ මුල් දින හත තුල නුවර එළිය දිස්ත්‍රික්කයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගැනීමටද මෙහිදි කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සිය ප්‍රසාදය පළකර තිබු අතර එලෙසම තමන්ගේ ඉල්ලීමට කඩිනමින් පිළිතුරක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් කඩිනමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වු අමාත්‍යවරයා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදුන්නේය.