ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය නීතිවිරෝධී බවට ඉදිරිපත් වූ මෝසම සලකා බැලීමට දින නියම කෙරේ

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන අතර එමගින් ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.