ආසියා-පැසිෆික් සමුළුවේ සභාපති ඇමැති අමරවීර

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතීත්වයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කර ඇත. ඒ අනුව 2024 – 2026 දක්වා වන වසර දෙක සඳහා එම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් හොබවනු ලැබේ.

මෙම 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භක සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර, එයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ක්යූ දොංයූ මහතා සහ ආසියා පැසිෆික් කලාපයේ රටවල් 44ක නියෝජිතයන් සහභාගි වී සිටියහ. හෙට 22 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 27ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් ද ඇතුළුව 300කට අධික පිරිසක් එක්ව සිටිති.