ග්‍රාමීය කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමට සහය වන්න – අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි

ග්‍රාමීය කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහය වන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු මහතා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (19) පැවැති හමුවේදී අගමැතිවරයා එසේ ඉල්ලා සිටියේය.

වසර ගණනාවක් පුරා කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ලබා දුන් සහය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තුතිය පළ කළ අගමැතිවරයා, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ගොවිතැනට බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව අගමැතිවරයා මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළේය. මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාවේද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව FAO විසින් සලකා බලන බව ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ( FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය අගය කළ අතර, “මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව” ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය කියු ඩොන්ගු මහතා පැවසීය.

මෑත යුගයේදී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළි පත්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.