විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමේ අදහසක් නෑ – අධිකරණ ඇමති

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවක් ලෙස තමන් හෝ කැබිනට් මණ්ඩලය හෝ අමාත්‍යවරයෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

එසේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමේ අදහසක්ද නොමැති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එවැනි ක්‍රමයක් උත්සාහ කිරීමට හැකි අතර, නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුවේ කාලසීමාව දිගු කිරීම හෝ ජනාධිපතිවරයාගේ කාලය දිගු කිරීමේ කිසිදු උත්සාහයකට එකඟ නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කරන්නේ නම් වසර 2 ක් වත් ඉදිරි මැතිවරණයට කාලය තිබිය යුතු බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.