සම්මානයක් පොලීසිය අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස් දෙපාර්තමේන්තුවේ මෑත කාලීන භාවිතයන්ට විරෝධය පළ කරමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අතින් පාපැදි තරග සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ චමීර විජේබණ්ඩාර විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිදුවීමෙන් පසු පෙබරවාරි 15 වනදා ඔහු ස්ථිරව පදිංචි වැලිමඩ ප්‍රදේශයේ මාදෝවිට නම් ග්‍රාමය වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සෝදිසි කර, ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් තමා ගැන තොරතුරු ලබාගෙන ඇති බවද, ඔවුන් තමාගේ පසුබිම හා දේශපාලන අදහස් සම්බන්ධයෙන්ද විමසා ඇති බවයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් ඉංජිනේරු උපාධිදාරියෙකු සහ පරිගණක ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වන තමන්ගේ සාමකාමී පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කනස්සලට පත්ව ඇති බවද, එය තමාට මානසික වධහිංසාවක් බවද ඔහු සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.