අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-35) පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.