පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරයි – කතානායක මහින්ද යාපා අබේවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයක් නොමැති රටක් පාලනයකින් තොරව අයාලේ යන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.

අධිකරණයට හෝ විධායකයට ව්‍යවස්ථාදායකය නොමැතිව ක්‍රියාකළ නොහැකි අතර මේ කුලුනු ‍තුනේම එකතුව මඟින් රටක් දියුණුව කරා ගෙනයා‍මේ වැඩපිළිවෙළ සකස් කළ හැකි බවද කතානායකවරයා පෙන්වා දුන්නේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මේ බව සඳහන් කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ  ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් අමතමිනි.

කඩවත මහාමායා බාලිකා විද්‍යාල‍යේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැරණි පාර්ලිමේන්තුව වන වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී අද (19) පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය සමඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙහිදී  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් වෙත සිය සුබපැතුම් පිරිනැමූ කතානායක මහින්ද යාපා අබේවර්ධන
පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව ද සිසු දැරියන් දැනුවත් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවට එක්ව සිටි සිසු දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය
මේ දරුවන් අද රැස්වී සිටින්නේ පරණ පාර්ලිමේන්තුවෙයි. එදා සිටි පාලකයන්  මේ පාර්ලිමේන්තුවේ සිට රටට අවශ්‍ය කරන නීති රීති සකස් කරන්න කටයුතු කළා. කතා කිරීමේ නිදහස තේරුම් ගන්න තිබෙන එකම තැන පාර්ලිමේන්තුවයි. එහි තිබෙන වරප්‍රසාදවලට මුවා වී සියලු දෙනා හොඳ දේ මෙන්ම කතා කිරීමට නුසුදුසු දේ ද කතා කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම පාර්ලිමේන්තුවේ තිබෙනවා. විවිධ අවස්ථාවලදී ඔබ පාර්ලිමේන්තු විකාශය බලන විට පෙනෙනවා ඇති කතානායකවරයා ලෙස මටත් මන්ත්‍රීවරුන් විවිධ චෝදනා එල්ල කරනවා. ඒ අර්ථයෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන්න රටක පාලනයක් නැහැ. ඒ නිසා සියල්ල ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මකවීම තුළිනුයි.

අධිකරණයට, විධායකයට ව්‍යවස්ථාදායක සභාවක් නොමැතිව තනිව ක්‍රියාත්මක විය නොහැකියි. ඒ නිසා රටක අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ දී අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මේ ආයතන තුනම ස්වාධීන ආයතන තුනක් ලෙස තිබෙනවා. ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරුන් පත්වන්නේ ජනතා ඡන්දයෙන්. එම සියලුම පත්වීම් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි.

ප්‍රජාතන්ත්‍රවාදය නොමැති රටක තිබෙන බිහිසුණු ස්වභාවය ඔබට ලෝකය දිහා බැලූ විට පෙනෙන්නට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නම් දිනපතා මනුෂ්‍ය ඝාතන, කිසිදු අංශයක් පාලනයකින් තොරව ක්‍රියාත්මක වන රටක් බිහිවෙනවා. එවිට ජනතාව ඒ රටේ ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එම ජනතාව වෙනත් රටකට ගිහින් සරණාගතයන් ලෙස ජීවත්වීමට තෝරා ගන්නවා.

ඒ නිසා ජනතාවගේ නිදහස තහවුරු කරගනිමින් රටේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමට අදාළ නීතිරීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව තුළින් හැකියාව තිබෙනවා. අද මෙතන සිටින දරුවන්ගෙන් කවුරුන් හෝ අනාගත පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියක් වී රටේ නීතිරීති සම්පාදනය  කිරීමේ වගකීම භාරගැනීමට හැකියාව ලැබේවායි කියා මා සුබ පතනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.