රාජ්‍ය සේවකයන්ට රු. 10,000ක ජීවන වියදමක් දෙන විටත් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන කිරීම සිදු නොවිය යුත්තක්

ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රු. 10,000ක ජීවන වියදම් දීමනාවක් පිරිනැමීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති මඟින් රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන සිදු කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත්, රාජ්‍ය නිලධාරීන්ද කාර්යක්ෂමව වගවීමකින් යුතුව ජනතාවට සේවය සැපයීමට බැඳී සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය 16 දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා:

“රාජ්‍ය ආයතනවල වගකිවයුතු බහුතරයක් නිලධාරීන් මහජනතාවට ඉතා හොඳින් සේවය සැපයීම සිදු කරනවා. එහෙත් ඇතැම් නිලධාරීන් පිරිසක් ජනතාවට සේවය සැපයීමේදී අකාර්යක්ෂමව, වගවීමකින් තොරව කටයුතු කරන බව අපට පෙනීගොස් තිබෙනවා. ජනතාවට ලබා දිය යුතු සේවා පහසුකම් නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක්ද අපට පෙනී ගොස් තිබෙනවා. ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවයේ පත් කිරීම් සහ මාරු කීරීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම් සිදුව ඇත්තේද නිලධාරීන්ගේ අකාර්යක්ෂමභාවයෙන් බව කිව යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුවට වගකිව යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ මහජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් බොහෝ දුරට මඟහැරී ගොස් තිබෙනවා. වඩාත් හොඳ කාර්ය සාධනයක් ඇති කිරීමට රාජ්‍ය සේවයේ විනිවිදභාවයක් මෙන්ම විවෘතභාවයක් ඇති කළ යුතුයි.

පවතින මේ තත්ත්වය වළක්වා ගැනීමට එළැඹෙන 19 දා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලි සේවයක් සිදු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි. එමෙන්ම ර‍ජය ආරථික දුෂ්කරතාවන් පවතින මේ කාලයේත් රාජ්‍ය සේවකයන්ට රු.10,000කින් වැටුප් ඉහළ දැමීම අගය කළ යුතුයි. නමුත් මහජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන වර්ජන කිසිලෙසවත් අනුමත කිරීමට නොහැකියි. වෘත්තීය සමිති නායකයකු ලෙස එවැනි ක්‍රියාමාර්ග තරයේ ප්‍රතික්ෂේප කරනවා.”