කුරුණෑගල, ගිරිබාව වැව් දෙකක පිළිසකර කටයුතු ඇරඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුනරුත්ථාපනය කරන වැව් දෙකක කටයුතු ඊයේ (17) දින ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මේ යටතේ ගිරිබාව, අලියාවැටුණ වැව ග්‍රාම නිලධාරි වසමට අයත් දිවුලේගම වැව සහ නොච්චියාගම වැව් දෙකෙහි පුනරුත්ථාපන කටයුතු ආරම්භ කෙරුණි.

ජල ප්‍රශ්නය හේතුවෙන් ගොවිතැන් කටයුතු සිදුකිරිමේ දුෂ්කරතා වලට මුහුණපාන ගොවින්ට සහනය සැළසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මීට සමගාමිව මොරගොල්ලාගම ග්‍රාම නිලධාරි වසමට අයත් නිකවැවෙහි මිරිඳිය මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීමද සිදු කෙරුණි.

කාෆ්, තිලාපියා සහ රෝහු මත්ස්‍ය ඇඟිල්ලන් මේ අනුව තැන්පත් කරන ලදී. ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ආදායම වැඩි කිරීම හා ප්‍රදේශවාසින්ගේ ප්‍රෝටීන අවශ්‍යතා සඳහා විසඳුමක් ලබාදීමට මෙමඟින් අපේක්ෂිතය.