ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව සෙනගල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය කල් දැමීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සෙනගල් රාජ්‍යයේ ජනාධිපතිවරණය එළැඹෙන පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එරට වත්මන් ජනාධිපති මැකී සෝල් නියෝගයක් නිකුත් කරමින් එය දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබුණා.

ඒ සඳහා වන පනතක්ද එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ඇති බවත්, පක්ෂ අපේක්ෂකයින්ගේ සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටලු හේතුවෙන් ජනාධිපතිවරණය කල් දමන බවටයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් මෙම තීරණය පාර්ශ්ව ගණනාවක් විසින් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති අතර ඒ අනුව අදාළ ජනාධිපති නියෝගය සහ පාර්ලිමේන්තු පනත වහාම බල රහිත කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අපේක්ෂිත පරිදි පෙබරවාරි 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත්, එය හැකි ඉක්මනින් සංවිධානය කළ යුතු බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීන්දු කර ඇත්තේ.