දිඹුලාගල ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද මෙරටින් හමු වූ විශාලම සෙල්ලිපියේ මූලික වාර්තාව පසුගියදා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාට ලබා දෙන ලදි. මේ ඒ සෙල්ලිපිය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම සෙල්ලිපිය කියවීම සඳහා පත් කළ කමිටුවේ සම සභාපතිවරයාය. මේ, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාවයි.
– ශිලාලේඛනයකට අර්ථ දෙන එක අමාරු කාර්යයක්
– අන්තර්ගතය සියුම්ව පරීක්ෂා කරලයි අර්ථය දෙන්න ඕනෑ
– ලිපිය විශාලයි එල්ලාගෙන කියවන්න අසීරුයි
මෙරටින් මෙතෙක් හමු වී ඇති විශාලම සෙල්ලිපිය සොයා ගැනීම පිළිබඳව පළමුව කතා කළොත් ?
ඒ පිළිබඳව සඳහන් වන්නෙ මෙහෙමයි. දිඹුලාගල, නාමල් පොකුණ ශිලාලේඛනය හමුවුණේ 2023 ජූලි 10 විතර. මී කඩන්නන් දෙදෙනෙකු විසින් කැලෑබද ප්‍රදේශයකදී මෙය දැක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරුව පොලොන්නරුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ගිහින් ඒ පිළිබඳව මූලික අධ්‍යනයයක් කර තිබෙනවා. ඉන් අනතුරව ඔවුන් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමෙන් අනතුරුව එහි අභිලේඛන අංශයේ සේවය කරන ඩී. ටී. ඒ. දයානන්ද මහතා 2023 අගෝස්තු 17 දින එම ස්ථානයට ගිහින් සොයා බැලීම් සිදු කළා. එහිදී එම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ශිලාලේඛනයක් තිබෙන බව පෙනී ගිය නිසා ඒ සම්බන්ධව කොළඹට වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් 2023 සැප්තැම්බර් 05 දින අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් සිදු කළා. එහිදී එය පිටපත් කළ යුතු බවට ද තීරණය කර තිබෙනවා. 2023 ඔක්තෝබර් 27 දින මෙම ශිලාලේඛනය පිටපත් කිරීම දිඹුලාගලදී ආරම්භ කළා. මෙම සෙල්ලිපිය වනාන්තරයක් තුළ කන්දක පිහිටි එකක්. 2023-11-18 දින එම කටයුත්ත අවසන් කළා.
කන්දක වනගතව පිහිටි මෙම සෙල්ලිපිය පිටපත් කර ගැනීමේ කටයුතු එම කණ්ඩායමට අභියෝගයක් වෙන්න ඇති නේද?
ශිලාලේඛනයක් පිටපත් කරන එක එතරම් ලෙහෙසි වැඩක් නොවෙයි. මෙම දිඹුලාගල ශිලාලේඛනය අඩි 48ක් වගේ දිගයි. අඩි අටක් විතර පළලයි. අක්ෂර පේළි 10ක් තිබෙනවා. මේවා පිටපත් කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒ සඳහා ශිල්පීය ක්‍රමයක් තිබෙනවා. ඉන් පසුව ස්පර්ශ ලාංඡන ලබා ගන්නවා. මේක ඉතාමත්ම ඉවසිල්ලෙන් කරන්න ඕනෙ. මෙහි විශාලත්වය නිසා කොටස් අටකට පිටපත් කර තිබෙනවා. ඉන් පසුව මෙය අලවා කියවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිබෙන ඉඩ ප්‍රමාණවත් නොවන නිසා කොළඹට ආසන්න ස්ථානයක එම කටයුත්ත සිදු කරනවා.
මේ සෙල්ලිපිය කියවීමට පත් කළ කණ්ඩායම ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙරත්, පසුත් විවිධ විවේචන සිදු කර තිබෙනවා නේද?
මේ සෙල්ලිපිය පිළිබඳව විවිධ පුද්ගලයින් දුර්මත ප්‍රචාරය කළා. බ්‍රාහ්මීය ශිලාලේඛන කියවන එක අමාරු කාර්යයක් නොවේ. අකුරු ටික හුරු නම් ඒවා කියවන්න පුළුවන්. හැබැයි ශිලාලේඛනයකට අර්ථ දෙන එක අමාරු කාර්යයක්. එකම වචනයට පද කඩා විවිධ අර්ථ දෙන්න පුළුවන්. නමුත් සමස්ත සෙල්ලිපියේම අන්තර්ගතය බොහොම සියුම්ව පරීක්ෂා කර අධ්‍යයනය කර තමයි අර්ථය දෙන්න ඕනෙ. සමාජ මාධ්‍යවල මෙම සෙල්ලිපිය පිළිබඳව අප අහපු අර්ථකථනයන් තුළින් කිසිම සාධාරණයක් ඉෂ්ට කර නැහැ. මෙම සෙල්ලිපියේ දේශපාලන, ආර්ථික, ආගමික තොරතුරු තිබෙනවා. දේශපාලන චරිත, වෙළඳ ආයතනයක් පිළිබඳව සඳහන් වෙනවා.
සෙල්ලිපි කියවීම පිළිබඳව මෙරට සිටින විද්වතෙකු වශයෙන් ඔබ මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව සඳහන් කළොත් ?
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂක නිශාන්ති ජයසිංහ මහත්මිය මා ඇතුළු අප කණ්ඩායමට 2024- 01-17 දින දැනුම් දීමක් කළා, මෙම ශිලාලේඛනය පිළිබඳව කඩිනමින් මූලික වාර්තාවක් දෙන ලෙසට. මේ වන විට මෙම සෙල්ලිපිය පිළිබඳ තොරතුරු හංගාගෙන සිටිනා බවට ඇතැමුන් චෝදනාවක් ද කරමින් සිටියා. ඒ අතර බරපතළ චෝදනාත් පැවැතියා. ඒ අනුව ඒ පිළිබඳ අපි මූලික වාර්තාව සකස් කර එය ලබා දුන්නා.
ඔබව දිඹුලාගල සෙල්ලිපිය කියවීමේ කමිටුවේ සම සභාපති ලෙස පත් කර තිබෙන්නෙ කුමන හේතු සාධක මතද ?
ඒ සම්බන්ධයෙන් පළමුව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරියගෙන් ද විමසිය යුතුයි. අතීතයේ ශිලාලේඛන සම්බන්ධයෙන් මම කටයුතු කළ ආකාරය නිසා මට එම කටයුත්ත පවරන්න ඇති. අතීතයේ අප අභයගිරියේ ශිෂ්‍ය කැණීම් පරීක්ෂකවරු ලෙස කටයුතු කළා. මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය ටී. ජී. කුලතුංග, මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහත්වරුන් තමයි එම පරීක්ෂක තනතුරු අපට ලබා දුන්නෙ. මහාචාර්ය මැන්දිස් රෝහණධීර තමයි මගේ අභිලේඛන ගුරුවරයා. අපට ශිලාලේඛන කියවන්න, අර්ථ දක්වන්න ඉගැන්වූයේ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ සහ මහාචාර්ය මැන්දිස් රෝහණධීර කියන අය. මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා විශ්‍රාම යන විට මම එම කටයුත්තේ යෙදවීමට තමයි කටයුතු කළේ. එතුමත් එක්ක මම අභයගිරියේ විශාල ශිලාලේඛන ප්‍රමාණයක් කියවා තිබෙනවා.
දිඹුලාගල සෙල්ලිපිය කියවීමේ කටයුත්තේදී ද ඔබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහයෝගය ලබා දුන්නා. අතීතයේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධව සෙල්ලිපි කියවීම පිළිබඳව කතා කළහොත්?
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මීට අවුරුදු 12කට පමණ පෙර සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නාමල් කොඩිතුවක්කු කියලා මහත්මයෙක්. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමු වූ ශිලාලේඛන කියවා ගැනීම සඳහා මගෙ සහය ලබා ගත්තා. මම එවැනි දේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු මුදලක් මෙතෙක් අරගෙන නැහැ. මම කියවූ ශිලාලේඛන සම්බන්ධයෙන් සඳහන් කරන විට මගේ නමක් සඳහන් කරන ලෙස ද මම ඉල්ලා නැහැ. දැනට මාස පහකට පමණ පෙර මට මතක හැටියට අල්ගම, ශෛලබිම්බාරාම විහාරස්ථානයේ බුරුම ශිලාලේඛනයක් හමු වී තිබුණා. ඒ සඳහාත් මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උදව් කළා. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිටින බුරුම රටින් වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ සහාය ලබා ගත්තා. එම සහාය සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කරමින් මට ලිපියක් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවා තිබුණා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි ඒකාබද්ධ වී 2012දී රජගල විහාර ව්‍යාපෘතිය ආරම්භ කළා. රජගල ශිලා ලේඛන කියන ග්‍රන්ථය සම්පාදනය කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික පුරාවිද්‍යා සමුළුව සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කළා.
සෙල්ලිපිය කියවීමේ කමිටු සාමාජිකයො ගැන සඳහන් කළොත්?
ආචාර්ය මාලනී ඩයස් මහත්මිය මා මෙන්ම සම සභාපති තනතුරේ කටයුතු කළා. විද්‍යාපති කන්තලේ සුමිත්ත ස්වාමීන් වහන්සේ මෙම කටයුත්තට සම්බන්ධ වුණා. උන් වහන්සේට පාලි සංස්කෘත පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක දර්ශනපති බුද්ධි නාගොඩවිතාන මහතා ද මේ සඳහා එකතු වුණා. මොහු දීර්ඝ කාලයක් පුරාවිද්‍යා කැණීම් පිළිබඳව සහ අභිලේඛන සම්බන්ධයෙන් කටයුතු කරනවා. අවුරුදු 24ක් වගේ අභිලේඛන අංශයේ සේවය කරන දර්ශනපති ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ මහත්මිය, මෙම ශිලාලේඛනය පිටපත් කරන ටික සිදු කළ විද්‍යාපති තනුර දයානන්ද මහතා, අභිලේඛන සම්බන්ධයෙන් නූතන තාක්ෂණය සමඟ කටයුතු කළ හැකි ආචාර්ය ධම්මි බණ්ඩාර මහත්මිය, අභිලේඛන අංශයේ සේවය කරන දර්ශනපති අජිත් අතුකෝරල මහතා, අභිලේඛන පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන විද්‍යාපති චම්පා වික්‍රමාරච්චි මහත්මිය, විද්‍යාපති නාමලී කන්නන්ගර මහත්මිය, නිශාන්ත මහත්මයාත් කමිටු සාමාජිකයෝ ලෙස කටයුතු කරනවා.
සෙල්ලිපිය පිළිබඳව අවසන් නිගමනය දුන්නෙ කවුද?
අපි මෙම සෙල්ලිපිය පිළිබඳව කිසිවිටක ඒක පාර්ශ්වීය අදහස් ඉදිරිපත් කළේ නැහැ. මෙම ලිපිය විශාල නිසා එල්ලාගෙන කියවන්න අමාරුයි. බිම දාගෙන කියවන්නත් බැහැ. එතකොට සෙල්ලිපි පිටපත මතට නඟින්න වෙනවා. පසුව පින්තූර අරගෙන කියෙව්වා. මුල් දවස් දෙකේ අපට පෙනෙන අකුරු කියෙව්වා. මම කියවන්න හදන විට අනෙක් පිරිස මෙය සැලකිය යුතු මට්ටමකට කියවා තිබුණා. සැක සහිත තැන් පිළිබඳ සාකච්ඡා කළා. සෙල්ලිපියේ පෙළවල්වලට දළ අර්ථ දුන්නා. අවසානයේ සෙල්ලිපියේ මූලික වාර්තාව සකස් කළා. එම වාර්තාව සැකැසුවේ අපට ලැබී තිබෙන ස්පර්ශ ලාංඡන අනුව. මම සෙල්ලිපිය තිබෙන ස්ථානයට ගියේ නැහැ. ඉදිරියේදී සෙල්ලිපියේ තවත් පිටපතක් ගෙන සංසන්දනාත්මකව නැවත කියවිය යුතුයි. එම ස්ථානයට ගොස් එය කියැවිය යුතුයි.
ඇයි නැවත පිටපතක් අවශ්‍යයි කියන්නෙ?
අභිලේඛනඥයෙක්ගෙ කාර්ය භාරය සමඟ තමා මුල් ලිපිය බලා අර්ථ දීම. ස්පර්ශ ලාංඡනයක් මත යැපී දෙන වාර්තාවේ ගැටලු තිබිය හැකියි. විවිධ වැරදීම් සිදු වන්න පුළුවන්. බොහෝ ශිලා ලේඛනවල පද බෙදීමක් නැහැ. ඒ නිසා සෙල්ලිපියක පද බෙදා ගැනීමත් අභියෝගයක්. එක අකුරක් එහා මෙහා වුනොත් වැරදි අර්ථ ලැබෙන්න පුළුවන්.
මෙම සෙල් ලිපියේ ඉදිරි පර්යේෂණ කටයුතු කොහොමද?
අපිව ඉවත්කර වෙනත් අයටත් මේක අවශ්‍යනම් කරන්න පුළුවන්. මෙම සෙල්ලිපිය තිබෙන ස්ථානයට යාමට අපි යෝජනා ගණනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපට එම ස්ථානයේ නවතින්න වෙනවා. ශිලාලේඛනය කියැවීමට ගහන පලංචියේ මටත් නඟින්න වෙනවා. මේ සෙල්ලිපිය පරණවිතාන මහත්මාට හමුවුණේ නැහැ කියලා අපි ශෝක වෙනවා. එවැනි දැනුමක් අපට නැහැ.
සෙල්ලිපියේ භාෂාව පිළිබඳව සඳහන් කළොත්?
අප අද මෙම සෙල්ලිපිය කියවන්නෙ කණ්ඩායමක් ලෙස. මෙම සෙල්ලිපිය තිබෙන වටපිටාව පිළිබඳව ද අපි සොයන්න ඕනෙ. බ්‍රාහ්මීය අක්ෂර මාලාවෙන් සිංහල ප්‍රාකෘතවලින් තමා මෙම සෙල්ලිපිය ලියැවී තිබෙන්නෙ. මෙම සෙල්ලිපිය ලියන්න අකුරු 24ක් විතර පාවිච්චි කර තිබෙනවා. සංකේත වර්ග හතරක් පහක් විතර පවතිනවා. ඒ අතර මෙතෙක් හඳුනා නොගත් ඒවා පවතිනවා. සිරස් රේඛාව ශිලා ලේඛනයක මෙතරම් වාර ප්‍රමාණයක් හමු වූ අවස්ථා නැහැ. ඒවා රූපාක්ෂරයක් ද කියා බැලිය යුතුයි. මේවා අනාගතයට තිබිය යුතුයි.
මෙම ලිපියේ අතීතය පිළිබඳව සඳහන් කළොත්?
ක්‍රි.පූ. දෙවන සියවස හෝ ඊට පෙර කාලයට මෙම සෙල්ලිපිය අයිති බවට අප නිගමනය කර තිබෙනවා. නැතහොත් අදින් අවුරුදු 2200කට එහා තමයි මේක ලියැවී ඇත්තෙ.
මේ සෙල්ලිපිය කුමක් සඳහා ලියන්න ඇද්ද? ඇයි මෙය කන්දක නිර්මාණය වුණේ.
සෙල්ලිපියේ දාගැබක් ගැන, ලෙන් පූජා කිරීම් ගැන සඳහන් වෙනවා. මේක ආරාමික පූජාවන් සඳහන් ලිපියක්.
සෙල්ලිපියේ සියයට හැටක් පමණ කියැවිය නොහැකි බව ඔබත් අක්ෂර දාහක්වත් මෙහි ඇති බව වරක් සඳහන් කළා. ඉතිරි සියයට හතළිහේ සඳහන් වන්නෙ මොනවාද?
සෙල්ලිපියේ පළමු පේළියට අර්ථයක් දෙන්න බැහැ. දෙවෙනි පේළියේ දීපරාජ කියන රජ කෙනෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. ශිව කියලා පුද්ගලයෙක් පිළිබඳව සහ බගුබශිග කියන පුද්ගලයෙකුගෙ බිරිඳක් පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. තුන්වන පේළියේ බගුබශිග නැමැත්තෙකුගේ බිරිඳක් පිළිබඳවත් මැණික් කර්මාන්තකරුවෙකු ගැනත් සඳහන්. මෙතැන කඩන්න යන්න හොඳ නැහැ. මෙහි මැණික් නැහැ. මෙම කටයුත්තට මැණික් කර්මාන්තකරුවෙක් දායකත්වයක් සපයලා තියෙනවා. හතරවන පේළියේ ගම් පාලක කෝලිත කියල පුද්ගලයෙක් පිළිබඳවත් ඒ වගේම ඔහු මාර්ගයක් සකස් කිරීමක් ගැනත්, තිස්ස කියන කුමාරයෙක් පිළිබඳවත් ඔහු මෙහි නම් පෙළක් සටහන් කළාය කියා වාර්තා කර තිබෙනවා.
මෙම සෙල්ලිපිය, බුද්ධ චරිතය හා එම කාලයේ සිටි චරිත හා සම්බන්ධද ?
එවැන්නක් මෙම සෙල්ලිපියෙන් අපට දැනට ලැබී නැහැ. මෙහි ශාසනික පූජාවක් පිළිබඳව සටහන් වන නිසා බුදු දහමට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ මෙරට ඉපදුනා කියන කණ්ඩායම් සිටිනවා. ඒ අයගේ ප්‍රලාපයක් වශයෙන් සෙල්ලිපිය බුද්ධ චරිතය හා ඒ කාලයේ සිටි චරිත හා සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීම හැඳින්විය හැකියි. මේ සම්බන්ධව කියැවෙන දේ බොහෝ වැරදිසහගත ප්‍රකාශයි. ඒවා බඩගෝස්තරවාදීන්ගේ කියුම් කෙරුම් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුනා කියලා ඔබ පිළිගන්නවාද ?
නැහැ. එවැනි සාක්ෂි මෙරටින් හමු වී නැහැ. පුරාවිද්‍යාඥයන් වැඩ කරන්නෙ භෞතික සාක්ෂි සමඟ.
සෙල්ලිපිවල පිටසක්වළ ජීවීන් පිළිබඳව සඳහන් වෙනවාද ?
මෙතෙක් මෙරට මම කළ අධ්‍යනයන් අනුව නම්, පිටසක්වළ ජීවීන් සම්බන්ධව හෝ එබඳු ග්‍රහ වස්තු සමඟ සම්බන්ධ සංකේත මම හඳුනාගෙන නැහැ. සමහරු කියනවා රන්මසු උයනේ එවැනි සංකේත ඇති බවට. ඒ සම්බන්ධව මගේ පෞද්ගලික විශ්වාසය නම් එහි තිබෙන චක්‍රය යම් කෙනෙක් සිත එකඟ කර ගැනීම සඳහා කරන ලද යම් නිර්මාණයක් බව. මම අවුරුදු 25-30ක් අභිලේඛන සමඟ ජීවත් වෙනවා.