මෝදර ‘ගු ඩ්ෆුඩ්’ කළමනාකරුට වෙඩි තබා පලා ගිය රථය ජා-ඇළ කැලයක

කොළඹ මෝදර පිහිටි අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයකුට පෙරේදා (13) රාත්‍රී කාලයේ අවන්හල ඉදිරිපිටදී වෙඩි තබා පලා ගිය පිරිස ගමන් කළ සුදු පැහැති මෝටර් රථය ජා-ඇළ ඔතේ කැලේ වෙල්යායක් අසල අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. මෝදර වීදියේ පිහිටි ගුඩ්ෆුඩ් රෙස්ටුරන්ට් නමැති අලෙවිසලේ කළමනාකරු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අවන්හල ඉදිරිපිට රැඳී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ කොළඹ 14 මහවත්තේ පදිංචිකරුවකු වූ ආර්. උමේෂ් කන්නා (52) නමැති අවන්හල පවත්වාගෙන යන පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ දකුණු උරහිසට, බෙල්ලට හා පාදයකට වෙඩි වැදී ඇති බව සඳහන්ය.

වෙඩි තබා ඇත්තේ පිස්තෝලයකින් බවත් වෙඩික්කරුවන්ව හඳුනාගෙන නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. වෙඩි වැදුණු පුද්ගලයා එම අවන්හලේ කළමනාකරු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ප්‍රංශය, එංගලන්තය සහ ඩුබායි යන රටවල සිටින මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති වී තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සැකකරන තොරතුරු රැසක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලැබී තිබේ.

බුද්ධි අංශ සඳහන් කරන්නේ මෙම අවන්හල පවත්වාගෙන යනු ලබන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා වුවත් මෙහි සැබෑ හිමිකරු ප්‍රංශයේ මේ වන විට රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු බව කියන ප්‍රංශ රූබන් බවය. ප්‍රංශ රූබන් සමඟ මත්කුඩු ජාවාරමේ නිතරව සිට මේ වන විට විරසක වී සිටින මෝදර නිපුන නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

නිපුන නමැති මත්කුඩු ජාවාරම්කරු මේ වන විට සිටින්නේ ඩුබායිහි බව ද බුද්ධි අංශ සඳහන් කරයි. වෙඩි වැදුණු පුද්ගලයාගේ ඥාති සම්බන්ධයක් ඇති පුද්ගලයකු මත්කුඩු මිල දී ගෙන මුදල් නොගෙවා සිදු කළා යැයි කියන වංචාවක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරක් ද බුද්ධි අංශ වෙත ලැබී ඇත.