- සෑමවිටම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දෙනවා – ජනපති.
- අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නැහැ. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද එළැඹීමට සූදානම් – ශෂීන්ද්‍ර රාජපක්ෂ.
- මේ ගැටලුවට මහ පාරේ විසඳුම් නැහැ. එය සාකච්ඡා කර ක්‍රමිකව විසඳාගත යුතුයි – දුමින්ද දිසානායක.
- මෙම විරෝධතාවල පෙරමුණ ගෙන සිටින්නේ ඇතැම් දේශපාලන සංවිධාන – හිටපු පළාත් අමාත්‍ය එච් .බී .සේමසිංහ.
- ගොවි ජනතාව වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ ජනපති ගැන විශ්වාසයක් තිබෙනවා – මහකනදරා වැව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක.
මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද (15) පෙරවරුවේ විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
එහිදී ගොවි ජනතාව තම ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඊට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ව්‍යාපෘතියට අදාළව මතුව ඇති විරෝධතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ජල ව්‍යාපෘතිය මේ වන විට ඉදිකර අවසන් බැවින් එය නවත්වන ලෙස උද්ඝෝෂණය කරනවාට වඩා ඉදිරියට ගත හැකි පියවර කුමක්දැයි විමසීම වැදගත් බවයි.
ඒ පිළිබඳ ගොවි ජනතාවට තිබෙන යෝජනා සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එහි සාධනීය කරුණු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉටුකර ඇති කාර්යභාරය අනුව මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාව වෙත ද ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව මහකනදරා වැව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙහි දී සඳහන් කළේය.
මහකනදරාව වැවට ජලය ගෙන එන බෙදීම් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අදාළ මුදල් ලබා දෙන්නේ නම් විශාල ජල ධාරිතාවක් ඉතිරි කරගත හැකි බව ඒ මහතා පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මහකනදරාව වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මේ වසරේදී රජය ලබාදී ඇති රුපියල් බිලියනයක මුදල කඩිනමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. මොකද මෙම ව්‍යාපෘතිය දැන් අතරමඟ නවත්වන්න බැහැ. අපි සෑමවිටම ගොවිතැනට ප්‍රමුඛත්වය දී වැඩ කරනවා.
මෙතෙක් කල් හැම ආණ්ඩුවක්ම සිදු කළේ ජල සම්පාදන මණ්ඩලය එක් ඇමතිවරයෙකුට දී, වාරිමාර්ග තව ඇමතිවරයෙකුට ලබාදීම. නමුත් දැන් මේ විෂය පථ දෙකම එක ඇමතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා අප සාකච්ඡා කර තීරණය කළ යුතුයි.
වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා,
මෙම වැවෙන් අක්කර අඩි 1000ක ජලධාරිතාවක් අනිවාර්යයෙන් ලබා ගන්නා බවට එකඟතාවයක් නැහැ. කෘෂිකර්ම කටයුතු සඳහා මූලිකත්වය ලබා දිය යුතුයි. ගොවි සංවිධානවලට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන්න. ඒ ප්‍රමාණයන් අනුව පානීය ජලය සඳහා මේ පොම්පාගාරයෙන් කොපමණ ජල ප්‍රමාණයක් ලබා ගන්නවද කියා තීරණය කළයුතුයි. ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය එකඟ වුණා.
වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් මෙම වැවෙන් ජලය ලබා ගන්නේ නැහැ. එම යෝජනාව නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස සකස්කර ගොවි ජනතාවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීනුත් එක්ව අවබෝධතා ගිවිසුමකට එළැඹිය හැකියි. ඒ සඳහා ඔබේ තවත් යෝජනා තිබෙනවා නම් ඒවාද ඇතුළත් කළ හැකියි.
හිටපු පළාත් අමාත්‍ය එච් .බී .සේමසිංහ මහතා,
මෙම ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක්. මේ ප්‍රදේශවල ලොකු ප්‍රචාරයක් ගෙන ගියා කන්න වතුර දෙනවද, බොන්න වතුර දෙනවද කියලා. මෙහි පෙරමුණේ සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා අද මේ ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ ඔබතුමාගේ සහතිකයයි. කෘෂිකර්මයට හානියක් නොවී, පානිය ජල අවශ්‍යතාවයත් සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා කියන සහතිකය ඔවුන් අපේක්ෂා කරනවා.
මේ සාකච්ඡාව සඳහා සහභාගි වෙන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිසිසේත්ම කිව්වේ නැහැ. එතුමා කිව්වේ මම යන පාරේ සුදුසු ස්ථානයක මේ සාකච්ඡාව පවත්වන්න මම එන්නම් කියලා. මේ මහකනදරාවැව ගොවි ජනතාව වෙනුවෙනුත්, අනෙකුත් ජනතාව වෙනුවෙනුත් අපේ ජනාධිපතිතුමා කෙතරම් සැලකිල්ලක් දක්වනවද කියලා අප අවබෝධකරගත යුතුයි. වෙන නායකයෙක් නම් ඒ අයට එන්න බැරිනම් මම මොකටද වෙන තැනකට යන්නේ කියලා යන්න තිබ්බා. නමුත් එතුමා එහෙම ප්‍රකාශ කළේ නැහැ.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
උද්ඝෝෂණ කළා කියලා ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවට අනුව ගොවි ජනතාවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් , ජල සම්පාදනය නිලධාරීන්ට එකතුවෙලා ගිවිසුමක් ඇති කර ගනිමු. එම ගිවිසුම කඩ වුණොත් පාරට ඇවිත් මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. එහෙම නැතිව මේ ප්‍රශ්නයට පාරේ විසඳුම් නැහැ.
මහකනදරා ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක මහතා,
අපි මේ ජල යෝජනා ක්‍රමයට කිසිසේත් විරුද්ධ නැහැ. වැවේ අක්කර 38000ක ජල ධාරිතාවක් තිබෙනවා. ගොවිතැන සඳහා අක්කර අඩි 52000ක් අවශ්‍ය වෙනවා. මේ ඉතිරි අක්කර අඩි 14000 ලබාගන්නේ කොහොමද? එම ප්‍රමාණය ප්‍රමාණවත් නැතිකොට ජල සම්පාදනයට අක්කර අඩි දාහක් අවුරුද්දකට ලබා දෙන්නේ කොහොමද? මෙම ප්‍රශ්නයට උත්තරයක් තිබෙනවා නම් අපි එය පිළිගන්න සූදානම්.
මහකනදරා වැව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයෙක් සමඟ අප සාකච්ඡා කරන පළමුවෙනි අවස්ථාව මෙයයි. ඔබතුමා ලබාදෙන පොරොන්දු හා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අපට විශ්වාසයක් තිබෙනවා.
මහකනදරා ගොවි ව්‍යාපාරයේ භාණ්ඩාගාරික තුසිත සම්පත් මහතා,
අපි මේ කුඹුරෙ ඉඳලා උද්ඝෝෂණයකට ආවේ ජල සම්පාදන ව්‍යාපෘතිය නවත්වන්න කියන්න නොවෙයි. අපේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාගන්නේ කොහොමද කියන කාරණයටයි. ජනතාවට පානීය ජලය ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. නමුත් මෙතනින් අඩුවන ජලය අපේ ගොවිතැනට ලබා ගන්නේ කොහොමද කියන එකයි අපි අහන්නේ. දෙපැත්තටම එක ලෙස වතුර දෙන්න පුළුවන් නම් අපි පාරට එන්නේ නැහැ.
ගොවි මහතෙක්:
මෙම මහකනදරාව වැව පහළ කොටසේ තිබෙන බෙදුම් ඇළවල් සහ කෙත් ඇළවල් එක් දහස් නවසිය හැට ගණන්වල හදපු ඒවා. අවුරුදු 50කට 60කට වඩා පැරණියි. ගරු ජනාධිපතිතුමනි, ඒවා දැන් කඩාවැටීමට ලක්ව තිබෙනවා.
වැව ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 1000ක් දී තිබෙනවා. ඊට පහළ කොටසේ බෙදුම් ඇළවල් සහ කෙත් ඇළවල් තිබෙනවා. එහි වම් ඉවුර කිලෝ මීටර් 25ක් දිගයි. දකුණු ඉවුර කිලෝ මීටර් 17ක් පමණ වෙනවා. බෙදුම් ඇළවල් 25 බැගින් දෙපැත්තෙහිම බෙදුම් ඇළවල් 50ක් තිබෙනවා. කෙත් ඇළවල් පන්සිය ගණනක් තිබෙනවා. මේ අහක යන වතුර ටික වැවේ රඳවා ගන්න පුළුවන් නම් අපට තව සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු ගන්න හැකියාව තිබෙනවා. මේ වන විට අපට තිබෙන අක්කර 38000න් අක්කර 15000කට වැඩිය අපතේ යනවා.
ගරු ජනාධිපතිතුමනි, අප සාකච්ඡා කළ මෙම කරුණු සම්බන්ධයෙන් ඔබතුමා සාධනීය විසඳුමක් ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.