ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබෙනවා.

ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා‌ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබෙනවා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ ​වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස්ද නැවත කරුණු දැක්වීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.