උසස් පෙළ ප්‍රතිඵල තව මාස තුනකින් ලබා දෙනවා – අධ්‍යාපන ඇමති

පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට සිදුවූ බවත්,  ඒ අනුව 2024 නව පාසල් වාරය ද පෙබරවාරි මස 19 වන සදුදායින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මෙම වර්ෂයේ මැයි – ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බවත්, මේ වර්ෂයට අයත් උසස් පෙළ විභාගය ද 2025 වසරට පෙර පවත්වා සියලු‍ විභාග යථාවත් කරන බවත්, ඒ අනුව 2025 නව පාසල් වාරය සාමාන්‍ය පරිදි ජනවාරි මාසයේ මුල සිට ආරම්භ කිරීමට සියලු‍ පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ පැවති පාසල් පෙළ පොත් හා නිල ඇදුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහනට අද (14)  පෙරවරුවේ එක්වෙමිනි.
 රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට තමාට හැකිවූ බවත් රුපියල් මිලියන දෙදහසක ලාභයක් ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා නව තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ
සුහුරු දරුවන් බිහිකරන්නට  තමා ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශය කැපවන බවද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේය.
  මෙවර පිරිවෙන් භික්ෂුන් වහන්සේලා සහ සීලමාතාවන් ඇතුළු පාසල් සිසු සිසුවියන් උදෙසා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ මෙම ජාතික උත්සවයේ දී සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන් ම අධ්‍යාපනය ලබන දරු දැරියන් නියෝජනය කරමින් මෙවර පෙළපොත් හා නිල ඇඳුම් බෙදා දීම සිදු විය. මෙවර පෙළපොත් මුද්‍රණය සඳහා රජය රුපියල් බිලියන 12කට ආසන්න මුදල් ප්‍රතිපාදන වැය කර ඇත.
  2024 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබී ඇති අතර සෑම දරුවකුට ම සම අධ්‍යාපන අවස්ථා සැලසීමේ අරමුණින් යුතු ව රජය ඉතිරි 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය ද, 80%ක පාසල් නිල ඇඳුම් රෙදි තොගය සපයන ලද චීන නිෂ්පාදකයා වෙතින් ම මිල දී ගැනීම ද මෙවර විශේෂත්වයකි. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ සෘජු මැදිහත්වීම මත මෙම චීන ප්‍රදානය 70% සිට 80% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇත. මෙම වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව මීටර් මිලියන 12.7කි.
  මෙම භෞතික සම්පත් හිමි කර දීම මගින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයෙහි ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම රජයේ ප්‍රමුඛ අභිමතාර්ථය වී ඇත.
  මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා , විද්‍යාලයේ විදුහල්පති ඈන් ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.